Wednesday, July 14, 2010

අධිරාජ්‍යවාදය, ධනවාදය හා ධර්මතාවය.......

බලන්....




සමාජයේ අඳුරු අහුමුළු
විනිවිද ....
ලෝ සනාථන ධර්මතාවයක
අරුමය ....                          මේ ධර්මතාවයට අභියෝග කරපු මිනිස්සු ලෝකෙ හරිම විරලයි......මානව ශිෂ්ටාචාරය පුරාම නැවත නැවතත් පුනරාවර්තනය වෙමින් "දුබලයා" මත "ප්‍රබලයා" විසින් තමන්ගේ පැවැත්ම සඳහා යොදනු ලබන පීඩනය, ප්‍රචන්ඩත්වය අඩු වැඩි වශයෙන් නිරීක්ෂනය කරන්ඩ පුලුවන්.....
ටින්, රත්‍රං වගේ සම්පත් වෙනුවෙන් තමන්ගෙ සහෝදර දකුණු ඇමරිකානුවන් බලාපොරොත්තු රහිත දුප්පත්කමට ඇදල දාන්ඩ උතුරු ඇමරිකානුවන්ට පුලුවන් උනා....යුරෝපා ජාතිකයින් ස්වාර්ථය වෙනුවෙන් දකුණු ආසියානු කලාපය හා අවට හූරගෙන කෑව.....ඔවුන් ලැජ්ජ බය පැත්තකින් තියල, ටයි කෝට් ඇඳගෙන අධිරාජ්‍ය ගොඩනැගුවෙ එහෙමයි.....
තවත් පුංචි උදාහරණයකින් පැහැදිලි කළොත්......... වැඩවසම් ක්‍රමය තුල ප්‍රවේනි දාසයා රටකජු ඇට ටිකකට තමන්ගෙ ශ්‍රමය අලෙවි කරනකොට, අර්ථ ක්‍රමය වැඩවසම් ක්‍රමයෙන් ධනවාදයට මාරු වෙනව....ධනවාදය තුල, වැඩවසම් ක්‍රමය තුල හිටපු "ප්‍රවේනි දාසයා", "කම්කරුවා" බවට පත්වෙනව.....වැඩවසම් ක්‍රමය තුල ඔවුන්ට ලැබුණු "රටකජු" ටික වෙනුවට දැන් ඔවුන්ට ධනවාදය තුල "වැටුපක්", පුංචි මුදලක් ලැබෙනව......රටකජු ටික පුංචි සොච්චම් මුදලක් බවට පරිවර්තනය වෙනව.....වැඩවසම් ක්‍රමය තුල "ඉඩම් හිමියා" ධනවාදය තුල  "ස්වමියා" බවට පත් වෙනව...
සොබාදහම, මානව ශිෂ්ටාචාරය පුරාම ඔය වගෙ උදාහරණ ඕන තරම් තියෙනවා.......සුවිශේෂම දේ තමයි, "සැකැස්ම (Structure)" වෙනස් උනාට "ක්‍රමය (System)" වෙනස් වෙන්නෙ නෑ.......
ඒ කියන්නෙ සරලවම, "ක්‍රමය" වෙනස් වන තුරු, "දුබලයා"හට, "ප්‍රබලයා" හට "ගොදුරු" වීම හැර අන් මගක් නැත.........





Friday, November 13, 2009

සමරමු විරුවන්.........

අපි උදෑසනින් අවදි වූයෙමු...
අප උදෑසනින් අවදි වූ පමණින් හිරු පායන්නේ නැත
නමුත් හිරු පායන විට අවදි වී සිටීම
උදාවන අලුත් දිනයේදී
අපට මහත්සේ ප්‍රයෝජනවත් වනු ඇත....
මෙය ගිය වසරේ ඉල් මහ විරු සමරුව වෙනුවෙන් පෙරාදෙණිය සරසවියෙහි "සමාජවාදී ශිෂ්‍ය සංගමය" මගින් වූස් (WUS) ආපන ශාලාව ඉදිරිපිට සවි කල දැවැන්ත ප්‍රචාරක පුවරුවක සටහන් වී තිබූ රෝහණ විජේවීරයන්ගේ ප්‍රකාශයකි.මෙය නිවැරදි ප්‍රකාශයෙන් තරමක් වෙනස් විය හැක්කේ මගේ මතකය එතරම් සතුටුදායක නොවන බැවිනි.
මෙවරද ඉතාමත් උත්කර්ශවත් ඉල් මහා විරු සමරුවක් ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කර ඇති බවක් පෙනෙන්නට ඇත. නමුත් මෙම ඉල් විරු සමරුව සුවිශේෂී සංධිස්ථානයක් මෙවර සලකුණු කරනු ලබන අතර වසර හතලිහක පමණ ඉතිහාසය තුල රටට, සමාජයට හෝ පක්ෂයට(ජවිපෙට ) සුවිශේෂී ජයග්‍රහණ දිනා දීමට එම පක්ෂයෙහි ක්‍රියාකාරී නායකත්වය මේ වනතුරුත් සමත් නොමැති වීම කණගාටුවට කරුණකි.
මා විශ්වාස කරන අන්දමට සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී විප්ලව ලොව කිසිම ස්ථානයක ඇති වී නොමැත. ගොඩනැගුනු සෑම අරගලයක්ම දේශප්‍රේමී අරගල වන අතර පසු කාලීනව විප්ලවය ජය ගැනීමෙන් පසු සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය ඒවාට ආදේශ වී ඇති බව පැහැදිලිය. 87 - 89 වකවානුව තුල මෙරට ඇති වූ තත්වයද ඉහත ලක්ෂණ පිලිබිඹු කරන අතර පැහැදිලිවම එය දේශප්‍රේමී අරගලයකි. නමුත් එවකට පැවති මර්ධනකාරී පාලන තන්ත්‍රය විසින් එය සමාජවාදය ලෙස මෙරට හුදී ජනයාට හුවා දැක්වූ අතර එම යුගය තුල මෙරට සමජය භීතියෙන් ඇළලවීය. නමුත් අප දුටුවේ පිවිතුරු සමාජවාදය වෙනුවට ධවල භීෂණයයි. අවසාන ප්‍රතිඵලය මිල කල නොහැකි තරුණ ජීවිත දස දහස් ගණනක් මෙරට සමාජයට අහිමි වී යාමය. මෙම මහා මිනිස් සංහාරයේ ගොදුරු බවට පත් වූවන් අතර කොතරම් ඉංජිනේරුවරුන් , වෛද්‍යවරු හා සුවිශේෂී වෘත්තිකයින් සිටින්නට ඇද්ද ? ඒ සියල්ලන්ටම වඩා කොතරම් වටිනා නායකත්ව පෞර්ෂත්වයන් අකාලයේ වැලළී යන්නට ඇද්ද ?
මේ සියල්ලන්ම ලේ, කඳුලු, දහඩිය මෙන්ම වටිනා ජීවිත කැප කර අපේක්ෂා කල ඒ සැම සම පිවිතුරු ලෝකය ගොඩනඟන්නට හෝ එහි සලකුණක්වත් සනිටුහන් කරන්න්ට අද වන තුරුත් ඔවුන් සමත් වී නැත්තේ පක්ෂයක් ලෙස යාවත්කාලීන නොවීමය. එනම් කාල් මාක්ස් විසින් (ලොවට නොව ) මෙරටට දායාද කල "බලාපොරොත්තු" ගොන්න බදාගෙන සිටින න්‍යායවාදී මූලධර්මවාදීන් විසින් ඉතිහාසයේ කුණු බක්කියට එම පක්ෂය ඇද දැමීමය. ඔවුන් තුල මක්ස් වාදයේ හරය හෝ දර්ශනය දක්නට නොමැති අතර ඒ වෙනුවට කාල් මාක්ස්ගේ දර්ශනයේ විකෘති වූ ආකෘතියක් පමණක් දක්නට ඇත. පුද්ගල සුවිශේෂීතා නොහඳුනන ඔවුන් දිනෙන් දින තම ඉල් මහ විරුවන් දිවි හිමියෙන් මෙරටට දිනා දුන් ජයග්‍රහණයක්වත් රැක ගැනීමට අසමත් වී ඇත.
විජේවීරයන් අද සිටියානම්, තම සොයුරන් ජීවිත පූජා කොට දිනා දුන් පක්ෂයට අද අත් වී ඇති ඉරණම දැක ගෙල වැළලා ගනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණෙහි සහෝදරවරුනි ඔබ,

තමන් ජීවත් වන බව ලොවට පෙන්වූ අමරණීය විරුවන් සැම සම, සැමට යුක්තිය ඉටුවන, නිවහල් දේශයක් වෙනුවෙන් අමිල ජීවිත පරිත්‍යාගයෙන් හෙලි පෙහෙළි කර දුන් මාවත, ගොඩනැගූ දර්ශනය,සමාජයට දායාද කල පරමාදර්ශ ගණිකා වෘතියෙහි යොදවා ඇත. ඉල් මහා විරුවන්ගේ පිවිතුරු බව කෙලෙසා ඇත.

Tuesday, November 10, 2009

සොඳුරු මිනිසුනි...

කුණු රොඩු ගසාගෙන මහ මුහුදට පාවී
කෙදිනක හෝ හොඳ රතු මල් පීදේවී.....

මෙම පද දෙපේළිය සටහන් කර තිබුණේ 'හෙළදිව' ඉරිදා සංග්‍රහයෙහි සාහිත්‍ය අතිරේඛයක් මතය. ඔරුවල බන්දු මහතා අතීතාවර්ජනයක යෙදෙමින් සටහන් කර තිබූ මෙය එතුමා රෝහණ විජේවීරයන් සමඟ 'ලුනුම්බා' සරසවියෙහි අධ්‍යාපනය ලබන සමයෙහි තැබූ සොඳුරු සටහනකි. විවිධ මතවාදයන්ගෙන් විචිත්‍රවත් වී ඔපවත් වුණු ඔවුන්ගේ ජීවිත කොතරම් නම් සොඳුරු වන්න්ට ඇත්ද ? සොඳුරු මිනිසුන් මැද ගෙවුනු සෞන්දර්‍යෙන් පිරුනු අව්‍යාජ ජීවන විලාසයන්ගේ, අපේක්ෂාවන්ගේ, නොමැකෙන සලකුණු මෙම පද කීපය තුල කැටි කොට ඇති ආකාරය අපූරුය. ලෝකය පවතිනවාට වඩා යහපත් වනු දැකීමට රොද බැඳ ගත්,එවන් උත්තුංග අරමුණු වෙනුවෙන් ලේ කඳුලු දහඩිය කැපකල පරමාදර්ශී සුවඳ හමන මිනිසුන්ට 'වම් ඉවුරේ' ආචාරය.....